රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මෘදුකාංග පද්ධතියක් වෙනුවෙන් අසාමාන්‍ය විශාල මුදලක් වැය කිරීම

කමල් වික්‍රමනායක - 2022/06/03 - 10:17

2022 මැයි 31 වන දින පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ පැවති සාකච්ඡාවක දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මෘදුකාංග පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 644 ක් වැය කොට ඇති බවත් නඩත්තු ගාස්තු වශයෙන් මාසිකව රුපියල් මිලියන 5 ක් ගෙවෙමින් පවතින බවත් වාර්තා උනා. අදාළ ව්‍යාපෘතිය සඳහා 2008 වසරේ සිට 2015 වසර දක්වා වූ වසර 7 ක කාලය වැය වූ බවත් එසේ වීත් එම පද්ධතිය ආයතනයේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සැකසී නොමැති බවත් වාර්තා උනා. මෙම ව්‍යාපෘතිය වෙනුවන් මෙතරම් අසාමාන්‍ය විශාල මුදලක් වැය කිරීමටත්, අසාමාන්‍ය දීර්ඝ කාලයක් ගත වීමටත්, ව්‍යාපෘතිය අසාර්ථක වීමටත් හේතු මොනවා වෙන්න ඇද්ද?

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අසාමාන්‍ය විශාල මුදලක් වැය කිරීමටත්, අසාමාන්‍ය දීර්ඝ කාලයක් ගත වීමටත්, ව්‍යාපෘතිය අසාර්ථක වීමටත් හේතු නිශ්චිතවම මේවා යැයි මතුපිටින් බලා තීරණය කිරීම අපහසුයි. එහෙත් ඉහත දැක්වෙන වීඩියෝවේ පැවසෙන කරුණවලටත් අදාළව අසාර්ථක වන මෘදුකාංග ව්‍යාපෘති පිළිබඳ පොදුවේ යම් අදහස් කිහිපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා.

මෘදුකාංග ව්‍යාපෘති අසාර්ථක වීමට බලපාන හේතු බොහෝ තිබෙනවා. ලංකාව ගැන විමසා බැලුවොත් රජයේ පමණක් නොව පෞද්ගලික ආයතන සෑහෙන ප්‍රමාණයකත් මෘදුකාංග ව්‍යාපෘති අසාර්ථක වීම් දකින්න පුළුවන්. රජයේ සහ පෞද්ගලික ආයතන සෑහෙන ප්‍රමාණයක මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණය වෙනුවෙන් පමණට වඩා බොහෝ මුදල්  නාස්ති කිරීම් ද සුළභව දකින්න පුළුවන්. මේ තත්වයන්ට ප්‍රධාන හේතු දෙකක් දක්වන්න පුළුවන්. එක් ප්‍රධාන හේතුවක් නම් පගාව. අනිත් ප්‍රධාන හේතුව නම් නොදන්නාකම.

මෘදුකාංග ව්‍යාපෘති හරහා පගාව ගන්න උත්සාහ කරන පිරිස් විවිධාකාරයි. බොහෝ විට ඒ අය ආයතන තුළම ඉන්නා අය. සමහර අවස්ථාවවලදී ව්‍යාපෘතිවලට සමබන්ධ ආයතනයට පිට අයත් පගා ගැනීම්වලට සම්බන්ධ වෙනවා.

නොදන්නාකමත් ව්‍යාපෘති අසාර්ථක වීමට විවිධාකාරව බලපානවා. උදාහරණ කිහිපයක් දෙස බලමු.

සමහර මෘදුකාංග වෙළෙන්දන් ලාභය වැඩිපුර ලබන්න පාරිභෝගිකයින්ගේ සැබෑ උවමනාවට වඩා බෙහෙවින්ම වැඩි පහසුකම් ඇති මෘදුකාංග කොටස් එක් කරනවා. උපමාවකින් කියුවොත් මීටර් 20 ක් එහායින් ඇති අල්ලපු ගෙදරට යන්න උවමනා යම් පුද්ගලයෙකුව ඒ සඳහා කාර් එකක් පාවිච්චි කරන්න යොමු කරනවා වාගේ වැඩ. මෘදුකාංග මිල දී ගන්න සමහර අය නොදැනුවත්කම නිසා මෙවන් රැවටීම්වලට හසුවෙනවා. මේ නොදන්නාකමේ එක් ආකාරයක්.

කෝප් කමිටු සභාපති තුමා වීඩියෝවේ පවසන දෑ දෙස බැලුවොත් තවත් නොදන්නාකමේ ආකාරයක් හඳුනා ගන්න පුළුවන්. මෘදුකාංග නිපදවීමට සහ පවත්වාගෙන යෑමට ශ්‍රමය වැය වෙනවා. ඒ නිසා කෝප් කමිටු සභාපති තුමා හිතන ආකාරයට නිකං වාගේ මෘදුකාංග හදන්න යෑම තවත් වරදවා ගැනීමක්. ප්‍රමාණයට වඩා මුදල් වැය කිරීමත් ප්‍රමාණවත් තරම් මුදල් නොයෙදවීමත් යන ක්‍රම දෙකම අසාර්ථක ක්‍රම. යම් පුද්ගලයෙකුට හෝ පිරිසකට ඔවැනි මෘදුකාංගයක් නොමිලේ සාදා දෙන්න බැරිකමක් නැහැ. ඒත් ඒ ක්‍රමය තිරසාර නැහැ. මේ නොදන්නාකමේ තවත් ආකාරයක්.

මෘදුකාංග ව්‍යාපෘතියකට අදාළව ගැනුම්කරුගේ පාර්ශවයෙන් උපදේශන සේවා ලබා ගැනීම පිණිස උපදේශකයින් (consultants) පත් කර ගැනීම සාමාන්‍ය දෙයක්. උපදේශකයින් වැරදි තීරණ දුන්නොත් ඉන් බොහෝ අලාභ සිදු විය හැකියි. මේ නිසා උපදේශකයින් ලෙස පත් කර ගැනෙන අය විෂයානුබද්ධ දැනුමින් ප්‍රවීණයින් විය යුතුයි. ආයතනය තුළ කෙරෙන කටයුතු පිළිබඳ දැනුම ඇති උපදේශකයිනුත් අවශ්‍යයි, මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ඇති උපදේශකයිනුත් අවශ්‍යයි. ආයතනය තුළ ඉන්නා අයට ආයතනය තුළ කෙරෙන කටයුතු පිළිබඳ දැනුම ඇති උපදේශකයින් තෝරා ගැනීම පහසුයි. නමුත් මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ කාර්යයන්හි නියුතු නොවන අයට මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ඇති උපදේශකයින් තෝරා ගැනීම බෙහෙවින්ම දුෂ්කරයි. මෙන්න මෙතනදී බොහෝ ගැනුම්කාර ආයතන වරදවා ගන්නවා. තමන් ප්‍රවීණත්වයක් නොදක්වන විෂයක ප්‍රවීණයින් කෙසේ තෝරන්නද? සමහරු මෙතැනදී තොරතුරු තාක්ෂණය පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් වෙත යොමු වෙනවා, සමහරු ආයතනවල තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානීන් වෙත යොමු වෙනවා, සමහරු පෙර මෘදුකාංග ව්‍යාපෘතිවල යෙදී ඇති අය කරා යොමු වෙනවා. මෙවන් ආකාරවලින් සාර්ථකත්වයක් ලබන්න හැකියාව තිබුනත් බොහෝ දෙනා තුළ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රවීණත්වය ඇති උපදේශකයින් තෝරා ගැනීමේදී භාවිතා කළ යුතු මිම්ම ගැන ප්‍රමාණවත් වැටහීමක් නැහැ. හුදෙක් තොරතුරු තාක්ෂණය පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වීම වත්, හුදෙක් තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී වීම වත්, හුදෙක් පෙර මෘදුකාංග ව්‍යාපෘතිවල යෙදී ඇති බව වත් සුදුසු උපදේශකයින් තෝරා ගැනීමේදී භාවිතා කළ හැකි සාර්ථක මිණුම් දඩු නොවෙයි. මිම්මට අනුව මැනීම කෙසේ වෙතත් මිම්ම කුමක් දැයි යන්න පිළිබදව වත් ලංකාවේ බොහෝ දෙනා තුළ ප්‍රමාණවත් අවබෝධයක් නැහැ. මේත් ව්‍යාපෘති අසාර්ථක වීමට බලපාන නොදන්නාකමේ ආකාරයක්.

මෘදුකාංග ව්‍යාපෘති අසාර්ථක වීමට හේතු තවත් බොහෝ තිබෙනවා.

නිසි විමර්ශනයකින් තොරව නිගමනයකට පැමිණිය නොහැකි නමුත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මෘදුකාංග පද්ධතිය වෙනුවෙන් රුපියල් මිලියන 644 ක් වන මුදල වැය කිරීම බෙහෙවින්ම සැක සහිතයි. මෘදුකාංග පද්ධති සැකසීම සඳහා යන සාමාන්‍ය වියදම් දෙස බැලීමේදී එය අසාමාන්‍ය විශාල මුදලක්.

ව්‍යාපෘතිය සඳහා අවුරුදු 7 ක දීර්ඝ කාලයක් ගත වීමත්, ඒත් එම මෘදුකාංගය අවශ්‍ය ලෙස ක්‍රියා නොකිරීමත් ගැටලු සහිතයි. ලංකාවේ රාජ්‍ය ආයතන තුළ මෙසේ වීමට බලපාන එක් ප්‍රධාන හේතුවක් නම් ආයතනය තුළම සේවය කරන සමහර පුද්ගලයින් විසින් හිතාමතාම ව්‍යාපෘති කඩාකප්පල් කර දැමීම. තොරතුරු තාක්ෂණය නිසි ලෙස භාවිතා කිරීමෙන් ආයතන තුළ සිදුවන දූෂිත කටයුතු වළක්වා ගැනීමට පහසුවක් ඇති වෙනවා. මේ නිසා දූෂණයට ලැදි පිරිස් මෙවන් ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම වැළැක්වීමට නොයෙකුත් බාධා ඇති කරනවා. අවසානයේ මෘදුකාංග පද්ධති භාවිතා කිරීමට නොහැකි වන පරිද්දට පත් කිරීමටත් ඔවුන් කටයුතු කරනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මෘදුකාංග පද්ධතියටත් මෙසේම වී ඇතැයි නිසි විමර්ශනයකින් තොරව පැවසීම කළ නොහැකි මුත් එවන් කඩාකප්පල්කාරී ක්‍රියා ආයතනය තුළම සේවය කරන පුද්ගලයින් විසින් හිතා මතා කරන්නට ඇති දැයි සැක කිරීම සාධාරණයි.

රුපියල් ලක්ෂ 50 ක් වන මාසික නඩත්තු ගාස්තුවත් අසාමාන්‍ය ලෙස විශාලයි. ලංකාවේ හැටියට නම් 25 දෙනෙක් පමණ පූර්ණ කාලීනව මෘදුකාංග නඩත්තු කටයුත්තට දායක වෙනවා නම් මාසයකට රුපියල් ලක්ෂ 50ක් පමණ වැය කරන්න සිදුවීම සාධාරණයි. සමහර සැපයුම්කරුවන් පිට රටින් මෘදුකාංග මිලදී ගෙන ලංකාවේ ආයතනවලට විකුණනවා. ඒවායේ ආරම්භක මිල සහ නඩත්තු ගාස්තු ලංකාවේම නිපදවන මෘදුකාංගවලට වඩා වැඩි වෙන්න හැකියාවක් තියෙනවා. නමුත් මේ කියන මෘදුකාංගයේ නඩත්තුව පිණිස මාසයකට රුපියල් ලක්ෂ 50 ක් අය කරමින් සැපයුම්කරු ලබාදෙනුයේ කවරාකාර නඩත්තුවක් ද යන්න සොයා බැලීම වටිනවා.

යම් හෝ හේතු නිසා නඩත්තු ගාස්තුව සාධාරණ යැයි මදකට හිතමුකෝ. එහෙම නම් හිතා බලන්න ඕනෑ මේ ආයතනය මසකට ලක්ෂ 50 ක් ඒ වෙනුවෙන් වැය කිරීම ආයතනය පැත්තෙන් කෙතරම් ඵලදායක ද කියලා. බැලූ බැල්මට මසකට ලක්ෂ 50 ක නඩත්තු ගාස්තුවකට ගැළපෙන ප්‍රයෝජනයක් ආයතනය විසින් ලබනවා යැයි සිතීමත් දුෂ්කරයි. ඒ නිසා ඒ ආකාරයෙන් බැලූ විට ආයතනය දරන වියදම බොහොම අසාධාරණ බවයි පෙනෙන්නේ.

පසු එකතු කිරීම්:

තමන් නිර්දෝෂී බවත් කෝප් කමිටු රැස්වීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් බොරු කියා ඇති බවත් සැපයුම් කරු ප්‍රකාශ කරන අයුරු දැක්වෙන වීඩියෝවකුත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙකු විසින් තමන් ඉදිරිපත් කළ මිල ගනන් නිවැරදි යැයි වැඩි විස්තර ඉදිරිපත් කරන අයුරු දැක්වෙන වීඩියෝවකුත් පහත දැක්වෙනවා.